Saturday, February 11, 2012

විදුලි බිල අඩු කරගැනීමට නම්...

ඈත ගමනක්‌ යනවිට
ශීතකරණය ක්‍රියාවිරහිත කර යන්න


එදිනෙදා නිවෙසේ දී ඔබ විදුලි භාණ්‌ඩ මිලදී ගැනීමේ දී නිවෙසෙහි සාමාජිකයින්ට ගැළපෙන පරිදි සහ නිවෙසට අත්‍යවශ්‍ය වන පරිදි භාණ්‌ඩ තෝරා බේරා ගෙන මිලදී ගැනීම සිදු කරනවාද? ඔබේ නිවෙසේ එදිනෙදා පාවිච්චියට ගන්නා විදුලි උපකරණ ගැන සිතන්න.ඒ සියලු විදුලි උපකරණ අතරින් ඔබට නැතිවම බැරි උපකරණය ශීතකරණය බව නම් සැබෑවකි. අතීතයේ ශීතකරණය වැනි උපකරණ නිවෙසට එතරම් වැදගත් උපකරණයක්‌ නොවුණි. එහෙත් වර්තමානයේ ශීතකරණය නිවෙසට අත්‍යවශ්‍ය උපකරණයක්‌ වී ඇත. ඒ නිසාම සෑම නිවෙසකම ආහාර ගබඩා කර තබා ගැනීම සඳහා ශීතකරණය පාවිච්චියට පුරුදු වී තිබේ. ශීතකරණය භාවිතයට පුරුදු වූ ඔබ එය පාවිච්චි කිරීමේ දී කරුණු කිහිපයක්‌ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. බොහෝ නිවෙස්‌ වල භාවිතා කරන්නේ නිවෙසට සහ සාමාජිකයින්ට ගැළපෙන ශීතකරණයක්‌ නොවේ.

ඔබේ නිවෙසට ශීතකරණයක්‌ අවශ්‍යම ද? නැද්ද? යන කාරණය මෙහිදී වැදගත්. ඔබේ නිවෙස අසල අලුත් එළවළු, මස්‌, මාළු ඉතා පහසුවෙන් මිලදී ගත හැකි වෙළඳසැල් තිබියදීත් ඔබ අනවශ්‍ය ලෙස ආහාර ශීතකරණයේ පුරවා ගෙන සිටීම සුදුසු නොවේ. එවැනි අවස්‌ථාවලදී ඔබට ශීතකරණයේ ගබඩා කළ වියෑළුණු ආහාර පරිභෝජනයට ගන්නවාට වඩා අසල වෙළඳසැලෙන් අලුත් එළවළු මිලදී ගත හැකිය.

ඔබේ නිවෙසේ ශීතකරණය විවෘත කර බලන්න. එහි ගබඩා කර ඇත්තේ අත්‍යවශ්‍යම භාණ්‌ඩ පමණද? ජෑම් බෝතලය, පැණි බෝතලය, බිත්තර මේ සියලුම දේ ඔබ ශීතකරණයේ ගබඩා කර තිබෙනවා නේද? ඔබ නොදැනුවත්ව හෝ අනවශ්‍ය ද්‍රව්‍ය ශීතකරණයේ ගබඩා කිරීම නිසා ප්‍රමාණයට වඩා විදුලියක්‌ නාස්‌ති වනු ඇත. හැම විටම ශීතකරණයේ ගබඩා කළ යුතු දේ පමණක්‌ ගබඩා කරන්න. සාමාන්‍ය නිවෙසක මාසික විදුලි බිලෙන් සියයට 40 ක ප්‍රමාණයක්‌ වැය වන්නේ ශීතකරණය සඳහායි. විදුලි නාස්‌තිය අවම කර ගැනීමට හැමවිටම ශීතකරණය භාවිතා කිරීමේ දී සැලකිලිමත් වීම වැදගත්. ශීතකරණය රාත්‍රි කාලයට පමණක්‌ ක්‍රියා විරහිත කර තැබීමෙන් විදුලිය පිරිමසා ගැනීමට පුළුවන. සාමාන්‍යයෙන් දුර ගමන් බිමන් යන අවස්‌ථාවලදී ශීතකරණය ක්‍රියා විරහිත කර, එහි ඇති භාණ්‌ඩ ඉවත් කර යැම සුදුසු වේ. ශීතකරණය තුළට උණුසුම් ආහාර නොදැමිය යුතුය. උණුසුම් ආහාර සිසිල් වීමට විදුලිය වැඩි ප්‍රමාණයක්‌ වැය වන බව ඔබ දන්නවාද? ඒ නිසාම උණුසුම් ද්‍රව්‍යයක්‌ ශීතකරණයේ ගබඩා කිරීමේදී හැමවිටම එය සිසිල් වන්නට ඉඩ හැර ශීතකරණයේ ගබඩා කරන්න පුරුදු වන්න. ආහාර පොලිතින් වලින් හෝ සුදුසු පියන් වලින් ආවරණය කළ යුතුය. එම භාජන තද බද නොමැතිව ලිහිල්ව තැබිය යුතුය. මස්‌ මාළු වෙන වෙනම අවශ්‍ය ප්‍රමාණ වලට වෙන්කර පොලිතින් උරවල හෝ මස්‌, මාළු දැමීමට භාවිතා කරන වෙනම බදුන්වල බහා තබන්න. අධික ලෙස සිසිල් වී ඇති මස්‌, මාළු පාවිච්චි කිරීමට පැය කිහිපයකට පෙර ශීතකරණයේ පහළ කොටසේ සිසිල් ගතිය අඩුවන තෙක්‌ තබා ගැනීමෙන් ශීතකරණයේ ඵලදායිතාව වැඩි කර ගත හැකිය.

ශීතකරණයේ දොර නිතර විවෘත කිරීම, නිසි අයුරින් දොර නොවැසීම, වැඩි කාලයක්‌ දොර විවෘත කර තබා ගෙන සිටීම නිසා ඇතුළත සිසිල පවත්වා ගෙන යාමට වැඩි පුර විදුලියක්‌ වැය වේ.

ශීතකරණයේ බීඩිම පළුදු වී හෝ යල් පැන ගොස්‌ ඇත්නම් වහාම අලුත්වැඩියා කරන්න. ශීතකරණය තුළ වැඩිපුර අයිස්‌ බැඳේ නම් දොරවල් හරියාකාරව නොවැසෙන බව කිව යුතුය. එවැනි දොරවල් වල සවිකර ඇති බීඩිම අලුත් වැඩියා කළ යුතුය. නිවෙසට අවශ්‍ය ප්‍රමාණයේ ශීතකරණයක්‌ මිලදී ගැනීම හා අනවශ්‍ය අවස්‌ථා වල ශීතකරණය ක්‍රියා විරහිත කොට හැරීම, ඇතුළත ඇති ආහාරවල ප්‍රමාණයට අනුව සිසිලස පාලනය කිරීම තුළින් ආර්ථික බාධා නොවන අයුරින් ශීතකරණය භාවිතා කළ හැකි වේ.

ඔබේ නිවෙසේ ශීතකරණය කිසිවිටෙක බිත්තියට ආසන්නයේ තැබීම සුදුසු නොවේ. හැමවිටම බිත්තියේ සිට අඟල් හතරක ප්‍රමාණයක දුරින් ශීතකරණය සවි කර තිබීම වැදගත්. විශේෂයෙන් ඔබේ ශීතකරණය තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක්‌ ගබඩා කිරීමට පුරුදු වන්න. අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය පුරවා තිබීමත් විදුලිය අපතේ යාමට හේතු වෙයි. නොදැනුවවත්වම හෝ ඔබ අතින් සිදු වන මෙම වැරදි පුරුදු වළක්‌වා ගෙන එදිනෙදා ගෙදරදී නාස්‌තිය අවම වන ලෙස අරපිරිමැස්‌මෙන් කටයුතු කරනවා නම් එය ඔබේ නිවෙසේ දියුණුව ඇති කිරීමට ඔබ ගන්නා උත්සාහයකි.

No comments:

Post a Comment